මාවනැල්ල, උතුවන්කන්ද ප්රදේශයේ පාසලක පරිපාලන සිද්ධියක් මුල්කර ගනිමින් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ගුරුවරියන් දෙදෙනකුගේ පහරකෑමට ලක්වූ විදුහල්පතිවරයකු ඊයේ (7) මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත. ගුරුවරියන් විසින් පාසල අවසන් වීමට ආසන්නව තිබියදී අතින්, පොත්පත්වලින් හා සෙරප්පුවලින් පහරදීම හේතුවෙන් විදුහල්පතිවරයා රෝහල්ගත කර තිබේ. මේ පහරදීම ගැන ගුරුවරියන් දෙදෙනා මාවනැල්ල පොලීසියට පවසා ඇත්තේ විදුහල්පතිවරයාගෙන් තමන්ට අසාධාරණ ක්රියා වන බවයි. මේ සම්බන්ධව පොලීසිය පරීක්ෂණ පවත්වන අතර, විදුහල්පතිවරයාගේ කන ප්රදේශයට වැදුණු පහරක් නිසා රෝහල්ගතවී තිබේ. මතෛක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.